Tuesday, April 15, 2025


වැරදි පාර...



- බන්ධුල සිසිර කුමාර -


මෙය, ශාස්ත්‍රීය පර්යේෂණයක් නොවෙයි. කාලයක් තිස්සේ සමාජය පිළිබඳව විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමෙනුත්, යම් යම් මූලාශ්‍ර පරිශීලනය කිරීමෙනුත් ලද කරුණු ඔස්සේ සිදු කෙරෙන විග්‍රහයක්. ඒ නිසා බොහෝ විට මෙය ආනුභවික (empirical) මට්ටමේ විග්‍රහයක් කිව්වොත් වඩාත් නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි මේ තොරතුරු අනුසාරයෙන් අවශ්‍ය කෙනෙකුට ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන්නත් බැරිකමක් නැහැ.

මගේ අද කතාවත් ටිකක් දුරට අතීතයට සම්බන්ධයි. හැබැයි පෙර ලිපි වලින් සාකච්ඡා කෙරුණු තරම් ඈත අතීතය නොවේ. සියවසක් හෝ ඊට මඳක් අඩු කාලයක කතාවක්.

කෙනෙකුට හිතෙන්න පුළුවන් අතීතය සම්බන්ධ කර නොගෙන යමක් කියන්නටම බැරිද කියා.

ඇත්තටම එහෙම කියන්න බැහැ. ගැටලුවක් තිබේ නම්, ඒ ගැටලුව විසඳිය යුත්තක් නම්, පළමුව ඊට හේතු සෙවිය යුතු වෙනවා. ඒ සඳහා ගැටලුව ඇති වූ ආකාරය විග්‍රහ කරගත යුතුයි. 

ඒ වගේම, කිසිදු පරපුරක් අවමානයට හෝ හාස්‍යයට ලක් කිරීම මෙම ලිපියෙන් බලාපොරොත්තු නොවන බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ විග්‍රහයේදී කිසිවකුට සිත් පීඩා ඇතිවේ නම් එය චේතනාන්විතව සිදු කරන්නක් නොවෙයි. රෝගයක් හෝ තුවාලයක් සුව කිරීමේ චේතනාවෙන් සිදු කරනු ලබන සැත්කම්, එන්නත් කිරීම් ආදිය ද වේදනාකාරී වූවත් එය හිංසක චේතනාවෙන් සිදු කරන්නක් නොවන බව අප දන්නවා.



හැම දෙයක්ම කිසියම් වූ හේතුවක ප්‍රතිඵලයක් නිසා, පළමුව, ඒ හේතුව සොයා යා යුතුයි. 

මේ කතාව පටන් ගැනෙන්නේ 1920-1930 කාලයෙන්.

ඔය කියන කාලයේ, රටේ නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් තිබුණෙ නැහැ. උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මුදල් මෙන් ම, ඒ මතින් ගොඩනැගුණු ඉහළ සමාජ පෙළැන්තියට අයිති වීමද අවශ්‍ය වුණා. වෙනත් අයුරකින් කියනවා නම්, තම දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමේ අවස්ථාව තිබුණේ රටේ ප්‍රභූ පෙළැන්තියේ අයට විතරයි. එම අධ්‍යාපනය අවසන් කළ අය, වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, සිවිල් සේවා යනාදී වූ, ඉහළ යයි සම්මත රැකියාවලට ඇතුළු වුණා. (මේ ප්‍රභූ පෙළැන්තියට, ඉංග්‍රීසීන්ට හිතවත් ව සිටි සම්ප්‍රදායික ප්‍රභූවරුන් ද, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ ස්ථාපිත කෙරුණු නව වෙළඳ ප්‍රභූ පෙළැන්තියේ අය ද, අයත් වුණා.)

රටේ බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට මේ අවස්ථාව හිමිවුණේ නැහැ. සීමිත මට්ටමක පාසල් අධ්‍යාපනයක් ලද ඔවුන්ට ජීවිකාව බවට පත් කර ගැනීමට සිදුවුණේ,  එතරම් ආකර්ෂණීය නොවූ,  ගොවිතැන හෝ, කය වෙහෙසන වෙනත් රැකියාවන්. 

තමන්ගේ සම වයසේ ප්‍රභූ දරුවන් උසස් අධ්‍යාපනය ලබා සමාජයේ ඉහළ පෙළැන්තියට ම අයත් රැකියාවල නිරත ව  සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත්, තමාට ඒ තත්ත්වය නොලැබීමට හේතුව තමන්ගේ දුප්පත්කම සහ සමාජ පන්තිය බවත්, ඒ අය දැන සිටියා. මෙහි සඳහන් කෙරුණු මේ  පරපුර, 1920 සහ 1930 දශකවල  උපන් අය. (පහසුව තකා මම ඒ අය, A පරපුර ලෙස නම් කරන්නම්.)

A පරපුර වැඩිවිය පත් වී දරු මල්ලන් තනා ගන්නා යුගය වන විට මේ රටේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඔවුන්ගේ දරුමල්ලන් 1950, 1960 සහ 1970,  දශකවල උපන්  අය. (B පරපුර)

තමාට සිහිනයක් පමණක් වූ ඉහළ අධ්‍යාපන අවස්ථා සහ, ඒ මගින් ඉහළ සමාජ පංතිය හා සම්බන්ධ වීමේ අවස්ථාව, නිදහස් අධ්‍යාපන පහසුකම  යටතේ තම දරුවන්ට විවෘතව තිබෙන බව දුටු A පරපුර තම දරුවන් ඒ වෙත යොමු කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරුවා.

මෙහිදී, එක්තරා සුවිශේෂී ක්‍රියාදාමයක් සිදුවුණා.

එසේ ඉගෙනීමට යොමුකළ B පරපුරේ දරුවන් කිසියම් ආකාරයකට විශේෂ හුරුවකට යොමු කිරීමක් වුණා කිව්වොත් නිවැරදියි.  සාමාන්‍යයෙන් ඒ කාලය දක්වා ම, සියලු ගැමියන් කුඩා අවධියේ සිටම හුරු කරගත් ජීවන කුසලතාවන්, සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය ආදී සියලු දෙයින්, B පරපුර ක්‍රමික ව මිදීමට පටන් ගත්තා. (එසේ වීමට බලපාන හේතු ගණනාවක් අපේ රටේ ගොඩනැගුණු අනුකාරක අධ්‍යාපන රටාව තුළ තිබුණා.) ඒ හා සමගාමී ව,  ඔවුන් එතෙක් පා තබා සිටි සමාජ සංස්කෘතික වටපිටාවෙන් විතැන් වීමක් සිදුවුණා.  තම දරුවන් ඉහළ සමාජයට ගිය පසු එම දැනුමේ හෝ උරුමයේ කිසිදු අවශ්‍යතාවක් නොවන බව විශ්වාස කළ වැඩිහිටි (A) පරපුර අතින් සිදු වුණේත්  ඒ ක්‍රියාදාමයට තව තවත් අනුබලදීමක්. ඒසේ ම, මෙහිදී ද ඒ දරුවන් හඹා යවන ලද්දේ ද පෙර කී වෛද්‍ය ඉංජිනේරු නීතිඥ හා සිවිල් සේවා වැනි සුදු කරපටි ගණයට අයත්  රැකියා පසුපසයි. 

මේ ක්‍රියාවලිය මෙසේ සිදුවන අතර ඊට සමාන්තර ව තවත් කටයුත්තක් පසුබිමෙහි සිදුවුණා. ඒ, ඉතිහාසය හා සාහිත්‍ය යන විෂයයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමයි.

ඒ අනුව,  අවාසනාවකට මෙන්, මේ නව දරු පරපුර (B) වැඩුණේ පොදු ගැමි ජීවන කුසලතා, සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය සමාජ සංස්කෘතික පදනම ආදියෙන් විතැන් ව, හා  තමන්ගේ අතීතය ගැන කිසිදු අවබෝධයකින් තොරවයි. එසේම අපේ උරුමයක්ව තිබූ චූල සහ මහා සම්ප්‍රදායේ සාහිත්‍ය පිළිබඳ දැනුම, රසාස්වාදනය ආදී සියලු දෙයින් ද දුරස්ව යි.

B පරපුර වැඩිහිටියන් වූ කල, ඔවුන්ගේ චර්යාවන් තුළ මේ අඩුපාඩුව පැහැදිලිව පෙනුනා. විශේෂයෙන් ඉහළ අධ්‍යාපන අවස්ථා හිමිකර ගැනීමෙන් ඉහළ සමාජයට පා තැබූ බොහොමයක් දෙනා, මුදල් හදල් පමණක් ඇති, අනෙක් සියලු ම අංශ වලින් හිස් වූ ජනකායක් බව මනාව කැපී පෙනුනා. 

මේ පිරිසේ දරු පරපුර (C පරපුර)  පත් වූයේ වඩාත් ඛෙදජනක තත්ත්වයකටයි. ඔවුන් 1990 -2000 යන දශකවල උපන් අය.

මේ දරුවන්ගේ මාපිය පරපුර වූයේ ඉහත කී ජීවන කුසලතාවලින්, සම්ප්‍රදායික දැනුම් පද්ධතියෙන්, උරුමය පිළිබඳ හැඟීමෙන්, ඉතිහාසය පිළිබඳ  දැනුමෙන් සහ රසවින්දන ශක්තියෙන් හීන වූ B පරපුර. (මෙම තත්ත්වයෙන් අඩු වැඩි වශයෙන් මිදී සිටියේ එම පරපුරේ සීමිත පිරිසක් පමණයි.)

පරපුරක් සතු විශේෂ හා අනිවාර්ය වගකීමක් වන්නේ තමන් එතෙක් රැගෙන ආ ජීවන කුසලතා, සංස්කෘතික හා උරුම සම්පත්, සම්ප්‍රදායගත දැනුම ආදිය ඊළඟ පරපුරට ප්‍රදානය කිරීමයි.  එහෙත් පෙර පරපුරින් මේ කිසිවක් ලබා නොගත් ඒ අය, තම දරු පරපුරට කුමක් නම් ලබා දෙන්නද? ඒ අනුව, එම වැදගත් වගකීම B පරපුර අතින් මගහැරී ගියා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ නූතන (C) පරපුරේ අති බහුතරයක් තුළ, ගැටළු විග්‍රහ කර ගැනීමේ හැකියාව සහ ඒවාට නිසි පිළියම් යෙදීමේ හැකියාව අවම බව කැපී පෙනෙනවා. ඒ ඒ ගැටළුවලට හේතු වූ මූලයන් නොදන්නා ඔවුන්, අඳුරේ අතපත ගා නිගමනවලට එළැඹෙනු බොහෝ විට දැකිය හැකියි. සමහර වැදගත් හා තීරණාත්මක කාරණාවලදී ඔවුන් අතිශය හාස්‍යජනක නිගමන වලට පවා එළඹෙන අන්දම, සමාජය දෙස විමසිල්ලෙන් බලද්දී පෙනී යනවා. ඇත්තෙන්ම, ඔවුන් මුල් සිඳුණු පරපුරක ඊළඟ පරපුර.

ගැටලු නිවැරදිව විග්‍රහ කර නොගනිමින් යන ගමනක් අතිශය භයානක එකක් විය හැකියි. 

අනෙක් අතින්, පූර්ණ වශයෙන් මුල් සිඳුණු පරපුරක්, උපක්‍රමශීලී බලවේගයනට සිය අරමුණු උදෙසා ඉතා  පහසුවෙන් මෙහෙයවා ගත හැකියි.

අවසාන වශයෙන් මා නැවතත් සඳහන් කරන්නේ, මේ තෙවන (C) පරපුරේ බහුතරයක්, පත් ව සිටින තත්ත්වයට වගකිවයුත්තේ ඔවුන් ම නොවන බවයි. පෙරද කී පරිදි, තමන්ගේ ඊළඟ පරපුර ඥානනය කිරීම සැම පරපුරකම අනිවාර්ය යුතුකමක් සහ වගකීමක්. එහෙත් මෙහි සඳහන් මැද (B) පරපුරට එය කරගත නොහැකි වී තිබෙනවා. ඊට හේතුව ද මේ කිසිදු  පරපුරක  දොසක් නොවෙයි.  එය ඒ  යුගයන්හි අප රටට මුහුණ දීමට සිදු වූ ඓතිහාසික සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක්.


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


මෙය දින වකවානු, සංඛ්‍යාලේඛන, සබැඳි විස්තර ඇතුළු සියල්ල එක් කරමින් ලියූවේ නම් ලිපිය මේ වගේ, හත් අට ගුණයක් දිග වේවි.  ඒ වගේම කියවන්නට නොසිතෙන, සංඛ්‍යාලේඛන වලින් පිරුණු එකක් වේවි. මෙහි  තිබෙන්නේ එවැනි දීර්ඝ සවිස්තරාත්මක ලිපියක සැකිල්ලක් නැතහොත් සාරාංශයක් කියතොත්, වඩාත් නිවැරදියි.



No comments:

Post a Comment

වැරදි පාර... - බන්ධුල සිසිර කුමාර - මෙය, ශාස්ත්‍රීය පර්යේෂණයක් නොවෙයි. කාලයක් තිස්සේ සමාජය පිළිබඳව විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමෙනුත්, යම් යම...